Tuesday, July 20, 2010

ආරම්භක පාඩම‍...

තොරතුරු තාක්ෂණයේ විහිඳීම...

තොරතුරු තාක්ෂණය(IT) හදාරන්න ඕන කියලා හිතුන කෙනෙකුට ඇති වෙන ඊලඟ ප්‍රශ්නය තමා කොතනින් පටන් ගත යුතුද යන්න.
මන්ද යත් තොරතුරු තාක්ෂණය ඒ තරමටම පුළුල්ව විහිඳී ඇති ක්ෂේත්‍රයක් වන බැවිනි.
ඉතින් ඒ නිසා ආරම්භයක් විදියට තොරතුරු තාක්ෂණය යටතේ හැදෑරිය හැකි ක්ෂේත්‍රයන් පිළිඹඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.
තොරතුරු තාක්ෂණය යනු පරිගණක හා බැඳී ඇති පුළුල් ක්ෂේත්‍රයක් වන බැවින් එය පහත පරිදි ‍ප්‍රධාන උප ක්ෂේත්‍ර වලට බෙදා දැක්වීමට පුළුවන.

  • පරිගණක දෘඩාංග ක්ෂේත්‍රයComputer Hardware Field : පරිගණකයක ‍භෞතිකව ස්පර්ශ කළ හැකි කොටස් පිළිබඳ ක්ෂේත්‍රය.
  • පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයComputer Software Field : පරිගණක දෘඩාංග හා පරිශීලකයා අතර අතරමැදි කාර්යයට වගකියන ක්ෂේත්‍රය.
  • පරිගණක ජාලකරණය ක්ෂේත්‍රයComputer Networking Field : පරිගණක එකකට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කිරීමට අදාල ක්ෂේත්‍රය.

පරිගණක පිළිබඳ දන්නා කෙනෙකු වීමට නම් ඉහත ක්ෂේත්‍ර පිළිබඳ මූලික දැනුමක් තිබීම අවශ්‍ය වේ. නමුත් මූලික දැනුමක් තිබූ පමණින් පරිගණකය පිළිබඳ ප්‍රවීනයෙකු(Expert) ලෙස හැඳින්විය නොහැකිය. කෙනෙකුට ප්‍රවීනයෙකු වීමට නම්, ඉහත එක් ක්ෂේත්‍රයක් ගැඹුරින් හැදෑරිය යුතු වේ. එවිට ඔහුට එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වීමට පුළුවන. නමුත් යම් කෙනෙකු ඉහත සියළුම ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයෙකු වීමට සිතන්නේ නම්, එය දුෂ්කර කාර්යයක් වනු ඇත.

ඕනෑම ක්ෂේත්‍රයක් හදාරා ඇති ප්‍රමාණය අනුව කළ හැකි කාර්යය තීරණය වේ. ඉහත ක්ෂේත්‍ර වලට මෙය අදාල වන්නේ කෙසේදැයි බලමු.

පරිගණක දෘඩාංග ක්ෂේත්‍රයComputer Hardware Field
පරිගණක දෘඩාංග පිළිබඳ මූලික දැනුමක් පමණක් ලබාගත් කෙනෙකුට, උදාහරණයක් ලෙස පරිගණකයක් එකලස් කිරීමට දැනුම ලබාගත් කෙනෙකුට පරිගණක වෙළඳපොළක් ආරම්භ කිරීමට දැනුම ඇත. දෘඩාංග වල තාක්ෂණික සැකැස්ම හා ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැඹුරින් හැදෑරූ අයෙකුට දෘඩාංග ඉංජිනේරුමය කාර්යයන්(Hardware Engineering) කළ හැකිය. මීටත් වඩා දෘඩාංග නිර්මාණය වැනි ගැඹුරට ගියහොත් එය ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුමය(Electronic Engineering) දිශාවට නැඹුරු වේ.

පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයComputer Software Field
මෙය ඉතා පුළුල් ක්ෂේත්‍රයක් ලෙස හැදින්විය හැකිය. පරිගණක මෘදුකාංග භාවිතය පිළිබඳ දැන සිටීම ඕනෑම අයෙකුට වැදගත් වේ. දැනට නිපදවා ඇති මෘදුකාංග භාවිතය හදාරා එමගින් යම් යම් අවශ්‍යතාවයන් සපුරා ගත හැකිය. උදාහරණයක් ලෙස MS Office දැක්විය හැකිය.මීට අමතරව මෘදුකාංග නිර්මාණය පිළිබඳ හැදෑරීම කළ හැකිය. මෘදුකාංග නිර්මාණය කරන්නන් මෘදුකාංග ඉංජිනේරුවන් (Software Engineers) ලෙස හැදින්වේ.

පරිගණක ජාලකරණය ක්ෂේත්‍රයComputer Networking Field
මේ යටතේ තරමක් දුරට හැදෑරූ අයෙකුට නිර්මාණය කර ඇති පරිගණක ජාලයක යම් යම් තාක්ෂණික කාර්යයන් කළ හැකිය. නමුත් හොඳ පරිගණක ජාලයක් නිර්මාණය කිරීමට නම් පරිගණක ජාලකරණය පිළිබඳ ගැඹුරින් හැදෑරීම කළ යුතුය. පරිගණක ජාල නිර්මාණය කරන්නන් ජාලකරණ ඉංජිනේරුවන් (Network Engineers) ලෙස හැදින්වේ

ඉහත දක්වා ඇත්තේ තොරතුරු තාක්ෂණයේ තාක්ෂණික ක්ෂේත්‍රයන්ය. මීට අමතරව ‍තොරතුරු තාක්ෂණය සමග කළමනාකරණය (Management), ආර්ථික විද්‍යාව (Ecomomics), ගණකාධිකරණය (Accounting), සන්නිවේදනය (Communication) වැනි ක්ෂේත්‍රයන්ද සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයන් තාක්ෂණික ක්ෂේත්‍රයන් සමඟ එක්ව හැදෑරීමෙන් තොරතුරු තාක්ෂණයේ ප්‍රවීනයන් විය හැකිය.
මෙහි ඇත්තේ ප්‍රධාන ක්ෂේත්‍රයන් පමණි. මෙම ක්ෂේත්‍ර සංයෝජනයෙන විවිධ ක්ෂේත්‍රයන් වර්ථමානයේ දක්නට ලැබේ. ඉහත ක්ෂේත්‍ර පිළිබඳ මූලික දැනුමක් ලබාගෙන ඉන් පසු එක් ක්ෂේත්‍රයක ප්‍රවීනයකු වීම වඩා සුදුසුය.

Thursday, July 15, 2010

තොරතුරු තාක්ෂණය ඉගෙන ගනිමු

අපි තොරතුරු තාක්ෂණය ඉගෙන ගත යුත්තේ ඇයි...?

වර්ථමාන ලෝකය තොරතුරු එහෙමත් නැත්නම් දැනුම දෙගුණ වන අවදියක් පසු කරමින් සිටී. ඉතින් මේ එකතු වන තොරතුරු සමග ගනුදෙනු කිරීමට නම් අපි තොරතුරු තාක්ෂණය ගැන දැන සිටිය යුතුය.

අද ලෝකයේ සියලුම දේ හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ වෙමින් පවතී. මන්ද යත් අප කුමන කාර්යයක් සිදු කිරීමට ගියද ඒ හා තොරතුරු බැඳී පවතින බැවිනි. තොරතුරු වලින් උපරිම ඵල නෙළා ගැනීමට නම් තොරතුරු තාක්ෂණය ඒ හා සම්බන්ධ විය යුතුය.

සියලුම දේ හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ වන බවට උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

  • අධ්‍යාපනය : අද ලෝකයේ අධ්‍යාපනය උසස් කිරීම සඳහා බහු මාධ්‍යය, දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් භාවිත වේ.
  • වෙළඳපොළ ගනුදෙනු : වෙළඳපොළ යනු වර්ථමානයේ බහුල ලෙස තොරතුරු තාක්ෂණය සම්බන්ධ වන ක්ෂේත්‍රයකි. ඉලෙක්ට්‍රොනික වෙළඳපොළ, ඉලෙක්ට්‍රොනික ප්‍රචාරණය, ඉලෙක්ට්‍රොනික මුදල් තොරතුරු තාක්ෂණ‍යේ ප්‍රථිපල වේ.
  • සෞඛ්‍යය‍ : සෞඛ්‍යය ක්ෂේත්‍රයද තොරතුරු තාක්ෂණය බහුල ලෙස භාවිතය තුළින් දියුණු වන ක්ෂේත්‍රයකි.

ඉහත දක්වා ඇත්තේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පමණි. වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකටද තොරතුරු තාක්ෂණය කිසියම් අයුරකින් සම්බන්ධ වේ. ඉතින් මෙම තොරතුරු තාක්ෂණය ගැන පැහැදිලි දැනුමක් තිබීම තොරතුරු තාක්ෂණයේ මහඟු ඵල නෙළා ගැනීමට අතිශය ප්‍රයෝජනවත් වේ.

Wednesday, July 14, 2010

තොරතුරු තාක්ෂණය අර්ථ දැක්වීම

තොරතුරු තාක්ෂණයට අර්ථ දැක්වීමක්...

දත්ත (Date) ගබඩා කිරීම (Store), ලබා ගැනීම (Retrieve) හා සම්ප්‍රේෂණය (transmit) සඳහා පරිගණක (Computer) හා විදුලි සංදේශනය (Telecommunication) සමග ගනුදෙනු කෙරෙන ඉන්ජිනේරු ශිල්පීය අංශය (Branch of Engineering) තොරතුරු තාක්ෂණය (Information Technology) ලෙස අර්ථ දැක්වේ.

තොරතුරු හා පරිගණකය...

දත්ත, තොරතුරු හා පරිගණකය...

සාමාන්‍යයයෙන් මිනිසා පරිසරයෙන් ලැබෙන දත්ත හුවමාරු කිරීමට පෙර දත්ත සුදුසු යැයි සිතෙන ආකාරයට සකස් කිරීම සිදු කෙරෙන අතර එහි ප්‍රතිඵලය තොරතුරු වේ. නමුත් පරිසරය පිළිබඳ මිනිසාගේ දැනුම එකතු වීමත් සමග මෙම සකස් කිරීමේ කාර්යය දුෂ්කර වේ. මිනිසා අන් සියලු ක්‍රම වලින් සෑහීමකට පත් නොවන තැන පරිගණකයට දත්ත සැකසීමේ කාර්යය පවරයි. දත්ත, තොරතුරු හා පරිගණකය අතර සම්බන්ධය පහත රූප සටහනෙන් දැක්වේ.

මෙම සකස් කිරීමේ කාර්යය සිදු කර ගැනීමට පරිගණකය හා සම්බන්ධ විවිධ තාක්ෂණයන් භාවිතා කෙරේ. මෙය තොරතුරු තාක්ෂණය යනුවෙන් අපට සරලව හැදින්වීමට පුලුවන.

තොරතුරක මහිමය

තොරතුරු ලොව දැකීම...
අතීතය දෙසට යොමු වුවහොත්, අපට තොරතුරු යන සංකල්පය ඇති වූ ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට පුලුවන. මුලින්ම මිනිසුන්ට පරිසරයෙන් දකින්නට, අසන්නට සහ විඳින්නට ලැබෙන දේ තවත් අයෙකුට ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය. ඔවුන් යම් භාෂාවක් භාවිතයෙන් එම අවශ්‍යතාවය ඉටු කරගත් අතර එහිදී හුවමාරු වූ දේ, තොරතුරක් ලෙස අපට හදුනාගැනීමට පුලුවන.

පසුකාලීනව මෙම තොරතුරු හුවමාරුව, ලිඛිතව සිදුවු අතර තවදුරටත් එය පරිගණක භාවිතය, ඡාලගත පරිගණක භාවිතය දක්වා වර්ධනය ව්ය. අද වන විට තවත් නවීන තාක්ෂණයන් භාව්තය තුලින් තොරතුරු ලොවම අණසක පතුරුවයි.

මේ සියල්ලේ ප්‍රතිඵලයකි තොරතුරු තාක්ෂණය. ඒ තොරතුරු තාක්ෂණයේ සවිස්තර තොරතුරු මෙතැන් සිට තොරතුරක මහිමය තුලින් ඔබට ලැබෙනා වගයි මේ...