Tuesday, July 20, 2010

ආරම්භක පාඩම‍...

තොරතුරු තාක්ෂණයේ විහිඳීම...

තොරතුරු තාක්ෂණය(IT) හදාරන්න ඕන කියලා හිතුන කෙනෙකුට ඇති වෙන ඊලඟ ප්‍රශ්නය තමා කොතනින් පටන් ගත යුතුද යන්න.
මන්ද යත් තොරතුරු තාක්ෂණය ඒ තරමටම පුළුල්ව විහිඳී ඇති ක්ෂේත්‍රයක් වන බැවිනි.
ඉතින් ඒ නිසා ආරම්භයක් විදියට තොරතුරු තාක්ෂණය යටතේ හැදෑරිය හැකි ක්ෂේත්‍රයන් පිළිඹඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.
තොරතුරු තාක්ෂණය යනු පරිගණක හා බැඳී ඇති පුළුල් ක්ෂේත්‍රයක් වන බැවින් එය පහත පරිදි ‍ප්‍රධාන උප ක්ෂේත්‍ර වලට බෙදා දැක්වීමට පුළුවන.

  • පරිගණක දෘඩාංග ක්ෂේත්‍රයComputer Hardware Field : පරිගණකයක ‍භෞතිකව ස්පර්ශ කළ හැකි කොටස් පිළිබඳ ක්ෂේත්‍රය.
  • පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයComputer Software Field : පරිගණක දෘඩාංග හා පරිශීලකයා අතර අතරමැදි කාර්යයට වගකියන ක්ෂේත්‍රය.
  • පරිගණක ජාලකරණය ක්ෂේත්‍රයComputer Networking Field : පරිගණක එකකට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කිරීමට අදාල ක්ෂේත්‍රය.

පරිගණක පිළිබඳ දන්නා කෙනෙකු වීමට නම් ඉහත ක්ෂේත්‍ර පිළිබඳ මූලික දැනුමක් තිබීම අවශ්‍ය වේ. නමුත් මූලික දැනුමක් තිබූ පමණින් පරිගණකය පිළිබඳ ප්‍රවීනයෙකු(Expert) ලෙස හැඳින්විය නොහැකිය. කෙනෙකුට ප්‍රවීනයෙකු වීමට නම්, ඉහත එක් ක්ෂේත්‍රයක් ගැඹුරින් හැදෑරිය යුතු වේ. එවිට ඔහුට එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වීමට පුළුවන. නමුත් යම් කෙනෙකු ඉහත සියළුම ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයෙකු වීමට සිතන්නේ නම්, එය දුෂ්කර කාර්යයක් වනු ඇත.

ඕනෑම ක්ෂේත්‍රයක් හදාරා ඇති ප්‍රමාණය අනුව කළ හැකි කාර්යය තීරණය වේ. ඉහත ක්ෂේත්‍ර වලට මෙය අදාල වන්නේ කෙසේදැයි බලමු.

පරිගණක දෘඩාංග ක්ෂේත්‍රයComputer Hardware Field
පරිගණක දෘඩාංග පිළිබඳ මූලික දැනුමක් පමණක් ලබාගත් කෙනෙකුට, උදාහරණයක් ලෙස පරිගණකයක් එකලස් කිරීමට දැනුම ලබාගත් කෙනෙකුට පරිගණක වෙළඳපොළක් ආරම්භ කිරීමට දැනුම ඇත. දෘඩාංග වල තාක්ෂණික සැකැස්ම හා ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැඹුරින් හැදෑරූ අයෙකුට දෘඩාංග ඉංජිනේරුමය කාර්යයන්(Hardware Engineering) කළ හැකිය. මීටත් වඩා දෘඩාංග නිර්මාණය වැනි ගැඹුරට ගියහොත් එය ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුමය(Electronic Engineering) දිශාවට නැඹුරු වේ.

පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයComputer Software Field
මෙය ඉතා පුළුල් ක්ෂේත්‍රයක් ලෙස හැදින්විය හැකිය. පරිගණක මෘදුකාංග භාවිතය පිළිබඳ දැන සිටීම ඕනෑම අයෙකුට වැදගත් වේ. දැනට නිපදවා ඇති මෘදුකාංග භාවිතය හදාරා එමගින් යම් යම් අවශ්‍යතාවයන් සපුරා ගත හැකිය. උදාහරණයක් ලෙස MS Office දැක්විය හැකිය.මීට අමතරව මෘදුකාංග නිර්මාණය පිළිබඳ හැදෑරීම කළ හැකිය. මෘදුකාංග නිර්මාණය කරන්නන් මෘදුකාංග ඉංජිනේරුවන් (Software Engineers) ලෙස හැදින්වේ.

පරිගණක ජාලකරණය ක්ෂේත්‍රයComputer Networking Field
මේ යටතේ තරමක් දුරට හැදෑරූ අයෙකුට නිර්මාණය කර ඇති පරිගණක ජාලයක යම් යම් තාක්ෂණික කාර්යයන් කළ හැකිය. නමුත් හොඳ පරිගණක ජාලයක් නිර්මාණය කිරීමට නම් පරිගණක ජාලකරණය පිළිබඳ ගැඹුරින් හැදෑරීම කළ යුතුය. පරිගණක ජාල නිර්මාණය කරන්නන් ජාලකරණ ඉංජිනේරුවන් (Network Engineers) ලෙස හැදින්වේ

ඉහත දක්වා ඇත්තේ තොරතුරු තාක්ෂණයේ තාක්ෂණික ක්ෂේත්‍රයන්ය. මීට අමතරව ‍තොරතුරු තාක්ෂණය සමග කළමනාකරණය (Management), ආර්ථික විද්‍යාව (Ecomomics), ගණකාධිකරණය (Accounting), සන්නිවේදනය (Communication) වැනි ක්ෂේත්‍රයන්ද සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයන් තාක්ෂණික ක්ෂේත්‍රයන් සමඟ එක්ව හැදෑරීමෙන් තොරතුරු තාක්ෂණයේ ප්‍රවීනයන් විය හැකිය.
මෙහි ඇත්තේ ප්‍රධාන ක්ෂේත්‍රයන් පමණි. මෙම ක්ෂේත්‍ර සංයෝජනයෙන විවිධ ක්ෂේත්‍රයන් වර්ථමානයේ දක්නට ලැබේ. ඉහත ක්ෂේත්‍ර පිළිබඳ මූලික දැනුමක් ලබාගෙන ඉන් පසු එක් ක්ෂේත්‍රයක ප්‍රවීනයකු වීම වඩා සුදුසුය.

No comments:

Post a Comment